Saturday, November 9, 2013

දවසක් පල නැති හේනේ....

         දවසක් පැල නැති හේනේ 
         අකාල මහ වැහි වැස්සා
         තුරුලේ හංගාගෙන මා
         ඔබ තෙමුණා අම්මේ
         පායන තුරු හිටි පියවර
         හිටියා ඔබ අම්මේ

         නුවර වීදි යට කරගෙන
         නින්දා වැහි වැගිරුණදා
         බිරිඳකගේ සෙනෙහෙ ගියා
         යෝධ ඇළේ නැම්මේ
         ඔබ සෙනෙහස සුවඳ දිදී
         දැනුණා මට අම්මේ 
   
         කොළඹ අහස කළු කරගෙන
         මුහුදු හුළඟ හඬලනකොට
         ඔටුන්න බිම දා දුවගෙන
         එන්නද එක පිම්මේ
         මං එනතුරු හිඳිකඩ ළඟ
         ඉන්නවාද අම්මේ

                                    මේ ගීතය බැලු බැල්මට තේරුම් ගත හැකි අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් සැඟවුණු  ගීතයක්... මෙසේ කියන්නට සිත් වුයේ මෙකී ගීතය අතීතයේ කොතෙකුත් ඇසී තිබුනද අර්ථය දැනගත්තේ වර්තමාන කාලය තුලදී වීමයි. ගුණදාස කපුගේ ශුරින් විසින් ගයනා මෙම ගීතයේ පබැඳුම කෙළේ අධි නිතීඥ රන්බණ්ඩා සෙනවිරත්නයන්ය. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ "අමුම අමු ගැමියෙකු" ලෙසින් තමන්වම හඳුන්වාගත් අයෙකු ලෙස හදුනාගත හැකි  අතර, දුගී බවේ පතුලේ සිටම පොහොසත් බවේ හා ගීත රචනය තුලින් එකල ජනප්‍රියත්වයේ මුදුනටම පැමිණි අයෙකු ලෙස හැඳින්වේ. තම ජිවිත අත්දැකීම මත පදනම් වූ මෙම ගීතයේ අර්ථය ගැන අපි බලමු...
            
               පළමුව මෙහි  "පැළ නැති හේන" යනුවෙන් අදහස් කර ඇත්තේ තම පියා අහිමි වූ නිවසයි. මෙකි නිවස තුල තිබු දුප්පත් කම, පියෙකු,ස්වාමියෙකු  නැති අඩුව "අකාල මහ වැහි " යනුවෙන් අරුත් දක්වන අතර "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ " යනුවෙන් අදහස් කරන්නේ ඒ සියළු වැසි වලට අම්මා හොඳටම තෙමුනද පුතාව තෙමෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමයි. ඇයට තම ස්වාමියා නැති අඩුව කොතෙකුත් දැනුනද, අග හිඟ කම් කොතෙකුත් මතු වුවද ඇය වෙනත් ස්වාමියෙකු පැතුවේ නැත. ගැටළු වලින් පලා ගියේ නැත. මේ සියලු වැසි වලට තෙමෙන්නට නොදී තම දරුවාට ඉගැන්වූ මේකී අම්මා එම වැස්ස පායන තුරුම එනම් දුප්පත් කම දුරුව තම පුතා හොඳ උගතෙක් වන තුරුම මේ අම්මා එක ස්ථාවරයක සිටීමට තමයි " පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ.." කියල කියවෙන්නේ...

             දැන් ඔහු හොඳ උගතෙක් වෙලා ගමේ ඉඳන් කොළඹ නගරෙට එනවා. ඔහු විවාහ වෙනවා. නමුත් ඔහු විවාහ උන බිරිඳ ඔහුව අතහැරලා දාල යන්න යනවා. බිරිඳ ඔහුව අතහැරලා ගිය නිසා ඔහුට සමාජයෙන්  එන නින්දා අපහස වලට ලක් වෙන්න වෙනවා. එය තමයි "නුවර විදී යටකරගෙන නින්දා වැහි වැගිරුන දා" කියල කියවෙනේ. ඔහු පලවෙනි වැස්සෙන් අම්මා නිසා බේරුන නමුත් ඔහු දෙවැනි වරට වැටුණු නින්දා වැස්සට හොඳටම තෙමෙනවා, තවදුරටත් ඔහු "බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ " කිවුවේ යෝධ ඇලේ බෑවුම සැතපුමකට අඟලක් වග සැම දෙනාම දන්නා කරුණක්. එම නිසා වතුර ගලනවද කියල හරියට පෙන්නේ නැහැ. ඒ වගේම ඔහුගේ  බිරිඳගේ සෙනෙහසත් පෙන්නේ නැතුව අඩු වෙලා ගිය නිසා. ඒ වෙලාවේ ඔහුට අතීතයේ අම්මගන් ලැබුණු  සෙනෙහස,රැකවරණය මතක් වුනා." ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ.." යන්නෙන් කියවෙන්නේ එයයි.

            "කොළඹ අහස කළු කරගෙන, මුදු හුළඟ අඬලනකොට" යනුවෙන් කියන්නේ ඔහුට තේරුම් යනවා පරිසරයේ සිදුවන වෙනස්වීම් එක්කම තවත් වැස්සක් ලඟම එනබව. ඔහු වැහි දෙකකටම හසු උනා. පලවෙනි වැස්සට නම් නොතෙමි යන්තම් අම්ම නිසා බේරුනත් දෙවැනි වැස්සට හොඳටම තෙමුනා. එත් තුන් වැනි වැස්සට තෙමෙන්න පෙර  " ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ", "මං එනතුරු හිඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ" කියල ඔහු අම්මගෙන් අහන්නේ ඔහුට තුන්වෙනි වැස්සටත් තෙමෙන්න බැරි නිසා මේ සියලු තානාන්තර පට්ටම් ("ඔටුන්න") විසිකරලා ඉක්මනින්ම ආයිත් අම්ම ලඟට එන්නද  කියලයි. මන්ද කුමන තනතුරු තානාන්තර තිබ්බත් වැඩක් නෑ අම්මා තරම් වෙන කවුරුවත් ඔහුට ආදරය, කරුණාව, රැකවරණය ලබා නොදෙන බව ඔහුට තේරුම් ගිය  නිසාවෙනි....

(නමුත් මෙකි ගීය ඔහු අතින් ලියවෙන විට ඔහුගේ මව ජිවතුන් අතර සිටියේ නැත....)

No comments:

Post a Comment